පොහොර සහ කෘෂි රසායනික ආනයනයට යළි අවසර


 

පොහොර සහ කෘෂි රසායනික ආනයනයට යළි අවසර

පොහොර සහ කෘෂි රසායනික ආනයනයට යළි අවසර

November 21, 2021   12:40 pm


වී, බඩ ඉරිගු , එළවළු සහ වැවිලි කර්මාන්තයට අවශ්‍ය ශාක පෝෂක සහ කෘෂි රසායනික ද්‍රව්‍ය ආනයනය කිරීමට කෘෂිකර්මාන්ත අමාත්‍යංශය පියවර ගෙන තිබේ.

අමාත්‍යංශ ලේකම් මහාචාර්ය උදිත් කේ. ජයසිංහ මහතා සඳහන් කළේ, නිසි ප්‍රමිතියකින් යුත් අවසරලත් ශාක පෝෂක සහ කෘෂි රසායනික ද්‍රව්‍ය මෙලෙස ආනයනය කිරීමට පියවර ගෙන ඇති බවය.

මහ කන්නයේ අස්වැන්න අඩුවීම තුළින්  සිදුවිය හැකි ආහාර ගැටලුව විසදීමේ අරමුණින් එම තීරණය ගෙන ඇති බව මහාචාර්ය උදිත් කේ.ජයසිංහ මහතා සඳහන් කළේය.

"මේ මහ කන්නය තුළ තමයි ලංකාවේ වැඩියෙන් ම ගොවිතැන් කටයුතුවල නිරතවෙන්නේ. වී, බඩඉරිඟු වගාව, එළවළු වගාව සහ අපේ වැවිලි කර්මාන්තයේ තේ, පොල්, රබර් කියන සියල්ල. ඒ සඳහා විෂදායක නොවන ඉහළ ප්‍රමිතියෙන් යුත් නියමිත ප්‍රමාණයන් රෙජිස්ටාර් ගේ සහ කෘෂිකර්ම අධ්‍යක්ෂකගේ අධීක්ෂණය සහ කමිටු අධීක්ෂණය යටතේ, කුමක් ද අවශ්‍ය කියලා නිගමනය කරලා, ඒ ප්‍රමාණවලින් අපිට රජය මඟින් බලතල දීලා තියෙනවා ආනයනය අපනයන අවශ්‍ය ප්‍රමාණයට විද්‍යාත්මකව කටයුතු කරන්න කියලා. අපි දැනටමත් වැඩපිළිවෙල සකස් කරලා විශේෂයෙන් ම අපි සමග ලියාපදිංචිවෙලා තියෙන සමාගම් හරහා අධීක්ෂණය හරහා ගෙන්වීමට දැනටම කටයුතු කරලා තියෙනවා. ඉතිරි සියල්ල අපි මේ සතිය ඇතුළත අවශ්‍ය ප්‍රමාණයෙන් රටට ගෙන්වනවා. විශේෂයෙන් ම වැසි තත්ත්වය අවසන් වුණාම අපිට හිතා ගන්න පුළුවන් මේවා හේදිලා ගිහින් තියෙන්න පුළුවන්. මේකේ දාන්නේ මොනවාද කියලා නෙමෙයි වැදගත්. දැම්ම දේට වෙච්ච දේ. ඒ නිසා අපි ක්‍රියාත්මක වෙනවා අමාත්‍යාංශයක් විදියට මේ කියන තත්ත්වය වහාම නිවැරදි කරලා රටේ ආහාර සුරක්ෂිතාව සහ ගොවි ජනතාවට තමන්ගේ ගොවි බිම් ඇවිල්ලා නිදහසේ වගා කටයුතුවල නිරත වෙන්න පුළුවන්. ඒ නිසා අපි එවැනි ශාක පෝෂක සහ අපි ආරක්ෂා කරගන්නා කෘමිනාශක සහ පළිබෝධනාශක නිසි ප්‍රමාණවලින් නිර්දේශිතව ගෙන ඒමට කටයුතු කරනවා."

ආනයනය කරනු ලබන පොහොර වර්ග සහ කෘෂි රසායනික ද්‍රව්‍ය පිළිබදව කෘෂිකර්ම අමාත්‍යංශයේ අනුමැතිය හිමිවිය යුතු බවද අමාත්‍යංශ ලේකම් මහාචාර්ය උදිත් කේ.ජයසිංහ මහතා සඳහන් කළේය.

"කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් තමයි නිර්දේශ කරන්නේ, ඒ ගොල්ලන්ගේ කමිටුවක හරහා අත්‍යාවශ්‍ය ඒවා කුමන ආකාරයකින්ද ගෙන්නන්නේ කියලා. අපි අවුරුදු 3-4 මේව ගෙන්නලා තියෙනවා. ගෙන්නපු එවාගෙන් ඉහළ පරම්පාරවාට අයිති නිර්දේශිත එවා පමණයි ගෙන්නන්නේ. තේ, පොල්, රබර්වලට ඉහළ පෙළේ ඒවා තමයි ගෙන්නන්නේ." 

ප්‍රශ්නය - යුරියා වගේ ඒවා ද‍?

"ඔව්, මේ යුරියා කියන්නේ මහා භායානක පොහොර ද්‍රව්‍යක් නොවේ. භයානක චිත්‍රයක් මවලා තියෙනවා, මගේ අම්මෝ යූරියා කියලා. යූරියාවල නයිට්‍රජන් ප්‍රතිශතය අධිකයි. බොහොම බාල ඒවා ගෙනත් ලාබෙට දීලා නිකනුත් දුන්නම මේක මිස්යූස් කරනවා. මිස්යූස් කරාම හානිය වෙන්නේ අර හොඳ පොහොරට. අපි නිවැරදි කරන්න යන්නේ, යූරියා කියන්නේ මේ අති භායානක පොහොරක් නොවේ. ඕනෑම පොහොරක් අනවශ්‍ය විදියට දැම්මොත් විසයි. අපි බෙහෙත් බිව්වා වගේ තමයි. වැඩිපුර බිව්වොත් විසයි. අඩුවෙන බිව්වොත් වැඩක් නෑ. යූරියා ලෝකයම භාවිතා කරන පොහොරක්. එකේ ඇති වරදක් නෑ. ඇමෝනියම් සල්ෆේට්වලටත් වඩා හොඳයි කියන එක මට සඳහන් කරන්න පුළුවන්."

කෘෂිකාර්මික නිෂ්පාදන සඳහා කාබනික පොහොර භාවිතය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් රසායනික පොහොර, කෘමිනාශක සහ වල්නාශක ආනයනය තහනම් කිරීම සිදුවුණේ පසුගිය අප්‍රේල් මස 27 වැනිදා ඉදිරිපත් කරන ලද අමාත්‍ය මණ්ඩල සංදේශයකට අනුවය.

ඒ අනුව හඳුනාගත් රසායනික පොහොර, කෘමිනාශක සහ වල්නාශක ගනයට ගැනෙන භාණ්ඩ ආනයනය තහනම් කරමින් පසුගිය මැයි 06 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි රජය ගැසට් පත්‍රයක්ද නිකුත් කළේය.

රජයේ එම තීරණයට ගොවි ජනතාව සිය විරෝධය පලකළ අතර රටපුරා උද්ඝෝෂණවල නිරතවුණ් මහකන්නයේ වගාවන්ගෙන්ද ඉවත් වෙමිනි.

No comments:

Post a Comment