නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානය වැසෙයි
November 21, 2021 01:40 pm
සිය වගාවන්ට අවශ්‍ය පොහොර සහ කෘෂි රසායනික ද්‍රව්‍ය නොමැතිවීම හේතුවෙන් නුවරඑළිය, එළවළු ගොවීන් සිය එළවළු තොග නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානයට ලබාදීම ප්‍රතික්ෂේප කර තිබේ.
එම තීරණයත් සමග නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානය වසා දැමීමට එහි පාලනාධිකාරිය තීරණය කර තිබුණි.
මේ පිළිබඳව අදහස් දැක්වු, සමස්ත ලංකා විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන එකමුතුවේ සභාපති, අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා "සාමාන්‍ය දවසකට ලක්ෂ 25ක් විතර එන මැනිං මාකට් එකට අද එන්නේ ලක්ෂ 5ක් වගේ. තඹුත්තේගම 80%ක් විතර අඩුවෙලා තියෙනවා. මෙහෙම ගියොත් එහෙම ලොකු ප්‍රශ්නයක් වෙනවා. තව මාසයක් දෙකක් යනකොට ආර්ථික මධ්‍යස්ථාන වැහෙනවා." යනුවෙනි.
පවතින පොහොර අර්බුදය හේතුවෙන් එළවළු ඵලදාව අඩුවී ඇති බවට ගොවීන් පවසන පසුබිමක ඒවායේ මිල ගණන් දිනෙන් දින සීඝ්රයෙන් ඉහළයමින් පවතී.
දිවයින පුරා පිහිටි ආර්ථික මධ්‍යස්ථාන වෙත ලැබෙන එළවළු තොග සීමාවීම අදත් දක්නට ලැබුණි.
මැනිං වෙළෙඳ සංගමයේ කමිටු සාමාජික මහේෂ් චානක මහතා පවසා සිටියේ, "හෙට දිනයේ නුවරඑළිය කදපොළ වගේ විවිධ ස්ථානවලින් එළවළු මැනිං වෙළෙඳපොළට එවෙන්නේ නෑ පොහොර අර්බුදය නිසා." යනුවෙනි.
තඹුත්තේගම සහ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන වෙත අද ලැබී තිබූ එළවළු තොග සීමාවීමත් සමග එහි මිල ගණන් ඉහළ ගොස් තිබුණේ වෙළෙඳුන්ද දුෂ්කරතාවට පත්කරමිනි.
එහි සභාපති, සුනිල් සේනාරත්න මහතා පවසා සිටියේ, "ඇත්තටම ආර්ථික මධ්‍යස්ථානය දැනුත් වැහෙන මට්ටමේ තියෙන්නේ." යනුවෙනි.
එමෙන්ම නුවරඑළිය ප්‍රදේශයේ උඩරට සහ පහතරට එළවළුවල සිල්ලර මිල රුපියල් 400ට වඩා ඉහළයාම හේතුවෙන් තමන් ගැටලු රැසකට මුහුණ පා සිටින බව වෙළෙඳුන් පවසති.
No comments:
Post a Comment