උකුසු ඇසට හසුවූ තරුණ ජීවිත ඔට්ටුවට තබන අවදානම් තරගය


 

උකුසු ඇසට හසුවූ තරුණ ජීවිත ඔට්ටුවට තබන අවදානම් තරගය

උකුසු ඇසට හසුවූ තරුණ ජීවිත ඔට්ටුවට තබන අවදානම් තරගය

November 21, 2021   07:13 pm


තරුණ ජීවිත මුදල් ඔට්ටුවට තබමින් සහ ජන ජීවිත අවදානමේ හෙළමින් සෑම සති අන්තයකම පවත්වන ත්‍රීරෝද රථ ධාවන තරගයක් පිළිබඳව "අද දෙරණ" උකුස්සා ට තොරතුරු අනාවරණ වුණි.

සති අන්තයේ රාත්‍රී කාලයේදී නුවර - කොළඹ ප්‍රධාන මාර්ගයේ කිරිබත්ගොඩ සිට යක්කල දක්වා කොටස කේන්ද්‍ර කරගනිමින් ත්‍රීරෝදරථ ධාවන තරග පවත්වන බවට අපට දැනගැනීමට ලැබුණි.

ඒ පිළිබඳව ගවේෂණයක නිරත වූ උකුස්සාට දැකගත හැකි වුයේ, විවිධ ප්‍රදේශවලින් පැමිණෙන තරුණ කොටස් මහජනතාවට පීඩාවන අයුරින් අදාළ මාර්ගයේ විදුලි වේගයෙන් ත්‍රීරෝද රථ ධාවන තරග පවත්වන ආකාරයයි.

එලෙස පවත්වන ධාවන තරග ඔවුන් පසුව සමාජ මධ්‍යවලට එක්කරයි.

මොවුන් විසින් පවත්වන ධාවන තරග අතරතුරදී ඇතැම් ත්‍රීරෝදරථ අනතුරටද ලක්වෙයි.

උකුස්සා - විනෝදෙට ද කොල්ලෝ රේස් පදින්නේ ?

ප්‍රදේශවාසියෙක් - "විනෝදෙට නෙමෙයි සල්ලි දාලා පදින්නේ "

උකුස්සා - අපිට බැරිදි ඔට්ටු දාන්න ? 

ප්‍රදේශවාසියෙක් - "පුළුවන් කතා කරගන්න."

උකුස්සා -  හැමදාම රෑට ද පදින්නේ ?

ප්‍රදේශවාසියෙක් - "නෑ සෙනසුරාදා ට ත්‍රීවීල් එකට ත්‍රීවීල් එකක් දාලා පදිනවා."

මාර්ගයේ ගමන්ගන්නා අනෙක් රථ වාහනවලට මෙන්ම මහජනතාවට ද දැඩි පීඩාවක් ගෙනදෙන එම ධාවන තරග පවත්වන ආකාරය පිළිබඳව එහි යෙදෙන තරුණයෙකු අදහස් දැක්වූවේ මෙලෙසිනි. 

"ඔට්ටු එවලෙට හොයන්නේ නෑ උදේ පාන්දර, දවස ඇතුළට මැසේජ් දාලා සෙට් කරන් ඉන්නේ. ආවා පැද්දා එහෙම්ම ගියා. ඉල්ලන්නේ මොකද්ද පැද්දා. උංගේ වාහන දුවනවනේ 90 පන්නලා. මේ වාහන 80යි 82යි." 

"එකේ ගහලා තියෙනවා ටොප් ස්පීඩ් 93 - 94 කියලා."

"පොලිසියෙන් බැස්ස ගමන් උන් මිසින් වෙනවා. පොඩි පාරකට දැම්මම ජීප් එකට අල්ලන්නත් බෑනේ උන් යන යෑම." 

ඔහුගෙන් ලබාගත් තොරතුරු අනුව උකුස්සා ත්‍රීරෝද රථ ධාවන තරග සඳහා විවිධ මිල ගණන් යටතේ මුදල් ඔට්ටු අල්ලන තරුණයෙකු ලවා ඔට්ටුවක් ඉදිරිපත් කළේ ඒ බව තහවුරු කරගැනීම සඳහාය.

උකුස්සා - ඔට්ටුවක් දාන්න පුළුවන්ද අපිට?

ත්‍රීරෝද රථ ධාවන තරග සංවිධාන කරන තරුණයෙක් - "කොහොමද දාන්නේ කඩවත එක්කෙනා ඉන්නවා - යක්කල එක්කෙනා ඉන්නවා."

උකුස්සා - කොහොමද දාන්නේ ? කීයේ ඔට්ටුද තියෙන්නේ?

ත්‍රීරෝද රථ ධාවන තරග සංවිධාන කරන තරුණයෙක් -  "කීයේ ඔට්ටුද දාන්නේ රු. 2,000 තියෙනවා. 2,500 තියෙනවා."

උකුස්සා - රු.2,000 ක් දාමු

ත්‍රීරෝද රථ ධාවන තරග සංවිධාන කරන තරුණයෙක් - "කාටද දාන්නේ ඔයා?"

උකුස්සා - යක්කල එක්කෙනාට දාමු. මිනිහා හොඳයිනේ?

ත්‍රීරෝද රථ ධාවන තරග සංවිධාන කරන තරුණයෙක් - "මිනිහා හොඳයි"

උකුස්සා - අපේ බයික් එකක් නම් නෑ හැබැයි. 

ත්‍රීරෝද රථ ධාවන තරග සංවිධාන කරන තරුණයෙක් - "බයික් එකක් එනකන් ඉන්න වෙනවා ඔයාට" 

උකුස්සා - බයික් එකක් ඕනේ නේද?

ත්‍රීරෝද රථ ධාවන තරග සංවිධාන කරන තරුණයෙක් - "බයික් එකක් ඕනේ පස්සෙන් යන්න."

උකුස්සා - වැඩේ කීයටද පටන්ගන්නේ?

ත්‍රීරෝද රථ ධාවන තරග සංවිධාන කරන තරුණයෙක් - "අපි ඔයාට කෝල් එකක් දීලා කියන්නම්."

උකුස්සා නුවර - කොළඹ මාර්ගයේ කිරිබත්ගොඩ ප්‍රදේශයේ රැඳී සිටින අතරතුරදීත් ත්‍රීරෝද රථ ඇසිල්ලක වේගයෙන් ධාවනය වූ ආකාරය දක්නට ලැබුණි.

ප්‍රදේශවාසියෙක් - "ත්‍රීවීල් රේස් කියන්නේ හෙන නඩු. මරාගන්නවා අයියේ. බඳවල්වලින් ගහගන්නවයි. ලොරිවලට අල්ලනවයි. බ්‍රේක් ගහන්නේ නෑනේ. බ්‍රෙක් එකට කකුලවත් තියන්නේ නෑ උන් බැරිවෙලා අන්තිම මොහොත වෙනකන්."

මෙම ත්‍රීරෝද රථවලින් එන අධික ශබ්දය හේතුවෙන් ප්‍රදේශවාසීන්ද දැඩි පීඩාවකට පත්ව සිටී.

ත්‍රීරෝද රථ ධාවන තරග පැවැත්වෙන නුවර - කොළඹ මාර්ගයේ පොලිස් ස්ථාන රැසක් පැවතියද රාත්‍රී කාලයේ සිදුවන මෙම සූදුව නැවැත්වීමට පොලීසිය ක්‍රියානොකිරීම පිළිබඳව පවතින්නේ සැබැවින්ම ගැටලුවකි.

No comments:

Post a Comment